ජාතික උරුමය රකින මෙහෙයුම කුරින්දි විහාරයෙන් ඇරඹේ
ශ්‍රී ලංකාව යනු කුඩා දිවයිනක් වුවද ලක්ෂ තුනකට ආසන්න පුරාවිද්‍යාත්මක භූමි පෙදෙසකින් යුක්ත අසීමිත පුරාවස්තු ප්‍රමාණයකට උරුමකම් කියන්නා වූ අභිමානවත් දේශයකි. එම අභිමානවත් උරුමය ආරක්ෂා කර ගැනීමේ වගකීම රජය තම ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්තිය තුළින් මනාව තහවුරු කොට ඇත. ඒ අනුව උතුරු නැඟෙනහිර පුරාවස්තු පුරාවිද්‍යා සිද්ධස්ථාන ආරක්ෂා කොට සංරක්ෂණය කර මතු පරපුරට දායාද කරලීමේ අභිලාෂයෙන් ක්‍රියාත්මක ජාතික වැඩ පිළිවෙළ ඉකුත් 18 වැනිදා කුරුන්දවාශෝක නොහොත් කුරින්දි විහාර පුරාවිද්‍යා ස්ථානයෙන් ආරම්භ කෙරුණි.
එසේ කැණීම් කටයුතු ආරම්භ කෙරුණු මෙම කුරුන්දවාශෝක පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත්තේ මුලතිව් සිට කි.මි.12ක් පමණ යනවිට හමුවන අලම්පිල් හන්දියෙන් දකුණට තන්නිමුරුප්පු කොමලමුණේ මාර්ගයේ කි.මි. 16ක් පමණ ගියවිටය. මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව එම පූජා භූමියේ සංරක්ෂණ කටයුතු සිදු කරයි. අට්ඨකථාවන්හි හා වංශකථාවන්හි සඳහන් වන ‘කුරුන්දක’,’කුරුන්ද’ යන නාමයන්ගෙන් හඳුන්වා ඇත්තේ මෙම ස්ථානයයි. ඛල්ලාටනාග රජු (ක්‍රි.ව. 100 – 103) ‘කුරුඥ පාසක’ නම් මෙම විහාරය ගොඩනැගූ බවත් (ම.ව. 33 පරි, 32 පෙළ) , පළමු වැනි අග්බෝ (ක්‍රි.ව. 571 – 604) රජු කරුන්ද විහාරය පිළිසකර කර කුරුන්ද වාපි නමින් වැවක්ද පොල් උයනක්ද කරවීය. (ම.ව, 41 පරි, 16 පෙළ) , පළමු වැනි විජයබාහු (ක්‍රි.ව. 1055 – 1110) රජුද කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහයන් දැක්වූ බවත් මහාවංශයෙහි සඳහන් වේ. දෙවන පැරකුම්බා රජු (ක්‍රි.ව. 1236-1270) විසින් විනාශ කළ කාලිංග මාඝගේ බල කඳවුරක් කුරුන්දියෙහි වූ බවද වංශකථාවල සඳහන්ය. බුදුන්වහන්සේගේ දෙවන ලංකාගමනයේදී උන්වහන්සේ මෙම ස්ථානයට වැඩි බවද ජනප්‍රවාදයේ වේ. මෙකී ප්‍රදේශය ‘කුරුන්ගම’ යනුවෙන්ද හඳුන්වා ඇති අතර වර්තමානයේ මේ පිළිබඳ සෙල් ලිපියක් හෝ එය පිහිටි ස්ථානය පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවේ.
කැණීම් කටයුතු ආරම්භ කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සහභාගි වූ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ඇතුළු පිරිස |
මෙම ස්ථානය ස්වාභාවික උස් බිම ස්තර කිහිපයක් සේ සකසා ඇති ආකාරය ශේෂ වී ඇති ප්‍රාකාර බැමිවලින් පැහැදිලි වේ. අඩි 140ක විෂ්කම්භයකින් ද අඩි 21ක උසකින්ද යුතු කබොක් ගල් වලින් නිර්මිත ස්ථූපයක් මෙහි පිහිටා ඇත. මුල් ඓතිහාසික යුගයට අයත් කැටයම් සහිත සඳකඩපහණ, කොරවක්ගල් ,ගල්කණු සහිත ගොඩනැඟිලි සාධක හා ගොඩනැඟිලි බොරදම් මෙහි දැකිය හැකිය. මෙම ප්‍රදේශයේ බහුල වශයෙන් හමුවන ඉදිකිරීම් අමුද්‍රව්‍යක් වන කබොක් ගලින් මෙහි ප්‍රාකාර බැමි ඉදිකර ඇත.
මෙම කුරුඳුමලය කන්දේ උඩ පිහිටි තැනිතලා භූමියේ ඉදිකර ඇති වාස්තුවිද්‍යා ඉදිකිරීම් පිළිබඳව දීර්ඝ විස්තරයක් යටත් විජිත යුගයේ සිවිල් නිලධාරින්ගේ වාර්තාවල සඳහන් වේ. එවකට සිවිල් නිලධාරියකුව සිටි ජේ.පී. ලෙවිස් මහතා විසින් ‘කුරුන්තන්ඌර්මලේ’ නම් මෙම ආරාමික නටබුන් ස්ථානය පිළිබඳ හෙන්රි පාකර්ගේ 1886 වාර්ගික වාර්තා උපුටා දක්වමින් සටහන් කර ඇත.
මෙම ස්ථානයේ ඇති කුරුඳු වැවට පහළින් ඇති තවත් ආරාමික නටබුන් සහිත ස්ථානයක් තිබෙන අතර එහි ශිලා කුලුනු සහිත නටබුන් ගොඩැලි, මුරගල් සහිත ස්ථාන, ස්ථූප ගොඩැලි සහිත ස්ථාන හමුවේ. මෙම ස්ථානයෙන් හමුව ඇති 4 වැනි උදය රජුට (ක්‍රි.ව. 946-954) අයත් සෙල් ලිපියක් හමුවී ඇත. එහි අභයගිරි ආරාමයට අනුබද්ධ සිරිසඟබෝ රජමහ විහාරය නම් ආරාමයක් සම්බන්ධයෙන් සහ ඊට කළ පුද සිරිත් පිළිබඳවත් භික්ෂූන් වහන්සේලාගේ පොදු කැමැත්තෙන් තුන් නිකායවල් සමඟි කිරීම සම්බන්ධ කතිකාවතක් සහ අභයගිරි විහාරයේ සේවයේ නියුතු නිලධාරින් විසින් මෙම ස්ථානයේ ඇති පධානඝරයට සහ පිළිමගෙයට දෙන ලද දීමනා සම්බන්ධව සඳහන්ව ඇත. මෑතක මෙම ස්ථානයේ සිදු කළ ගවේෂණයකින් එම ලිපියේ තවත් විශාල කොටසක් පොළවට යටව තිබී සොයාගැනීමට හැකි විය.
1933 මැයි 12 දින විශේෂ ගැසට් පත්‍රයක් මඟින් මෙම ස්ථාන ඇතුළත්ව අක්කර 78ක භූමි කොටසක් මැන ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇත. එම සීමා මායිම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෑතක පාදා ගන්නා ලද අතර අවට නටබුන් විසිර පවතින ප්‍රදේශයද එක් වූ විට මෙම පරිශ්‍රය අක්කර 300ක් පමණ විශාල වේ.
විෂයභාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි පසුගිය 18 වැනිදා එම ස්ථානය පිළිබඳව නිරීක්ෂණය කොට කැණීම් කටයුතු ආරම්භ කිරීමේ පුණ්‍ය මහෝත්සවයට විපස්සනා ජාත්‍යන්තර භාවනාමධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය විද්‍යා වේදී පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප නාහිමිපාණන්, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී අධිකාරි, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, මුලතිව් දිසාපති කේ. විමලානන්දන්, ආරක්ෂක සේනා මූලස්ථානයේ මුලතිව් ආඥාපති මේජර් ජනරාල් ජගත් රත්නායක ඇතුළු යුධ හමුදා , පොලිස් නිලධාරින් , පුරාවිද්‍යා සංරක්ෂණ නිලධාරින් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි විය.
කැණීම් කටයුතු ආරම්භ වී තිබෙන අයුරු |
එදිනම වව්නියාව දිස්ත්‍රික්කයට අයත් වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙඩිවයිතකල්ලු 221 ඒ ග්‍රාමසේවා වසමේ වන සංරක්ෂණ කලාපයට අයත් ප්‍රදේශයට පිහිටා ඇති සපුමල්ගස්කඩ පුරාවිද්‍යා ස්ථානයේ නටබුන්ව පවතින චෛත්‍ය නැවත ප්‍රතිසංස්කරණ කිරීම හා අනෙකුත් පුරාවිද්‍යා සාධක සංරක්ෂණය කිරීමත් ආරම්භ විය. කිවුල් ඔයේ අතු ගංගාවක් වන චමලි ආරු හරස් කර ඉදිකර ඇති වැව අසල මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇති අතර මෙය ශ්‍රී ලංකාවේ තපෝවන ආරාම සම්ප්‍රදායට අයත් පබ්බතාරාම පරිශ්‍රයකි. ආරාම සංකීර්ණය අසල වැවේ පැරණි සොරොව්වක නටබුන් දැකගත හැකි වුවත් ස්ථානය පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍ර මෙතෙක් හමුවී නැත. එහෙත් මෙම ස්ථානයේ ස්වාභාවික භූමිය පිට මළුව සහ ඇතුළු මළුව ලෙස ස්ථර දෙකක් ආකාරයට සකසා තිබෙන ආකාරය නම් පැහැදිලිව දැකගත හැකිය. ඇතුළු මළුවේ කැටයම් රහිත මුරගල, කොරවක්ගල්, සඳකඩ පහණ මෙන්ම ස්ථුප ගොඩනැඟිල්ලක්, ශිලා කුලුනු සහිත ගොඩනැඟිලි සාධක, පැරණි ගොඩනැඟිලි සහ පැරණි පෙති උළු සහ පැරණි වළං කැබලි මෙහිදී දැකගත හැකිය.
ඉදිකිරීම් ස්වාභාවය අනුව සපුමල්ගස්කඩ පුරාවිද්‍යා ස්ථානය ක්‍රි.ව 4-5 සියවස්වලට අයත් ආරාමික නටබුන් සහිත ස්ථානයක් ලෙස සැලකේ. එම ආරාමික පරිශ්‍රයේ අක්කර 10ක පමණ නටබුන් විසිරි පවතී. විවිධ අවස්ථාවල ගොඩනැඟිලි අසල හාරා ඇති විශාල වළවල් සහ යුද සමයේ හමුදා කඳවුරක් ඉදිකිරීම හේතුවෙන් පුරාවිද්‍යාත්මක ව්‍යුහයන් ඒවායේ මුල් සන්දර්භයෙන් දුරස් වී ඇති බවක් නිරීක්ෂණය වේ.
එවැනි පසුබිමක් තුළ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්තිය තුළ උතුරු නැඟෙනහිර පුරාවස්තු සහ පුරාවිද්‍යා සිද්ධස්ථාන ආරක්ෂා කොට සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ වඩාත් කාලෝචිතය.
එම ව්‍යාපෘතිය යටතේ සපුමල්ගස්කඩ පුරාවිද්‍යා පරිශ්‍රය පූර්ව සැලසුමක් අනුව කැණීම්, සංරක්ෂණ සහ නඩත්තු කටයුතු සිදු කිරීමෙන් පසු එය දෙස් විදෙස් සංචාරක හා මහජන ප්‍රදර්ශනයට සහ වන්දනාමානයට විවෘත කිරීමටත් යෝජිතය. මෙම ව්‍යාපෘතිය භාණ්ඩාගාර ප්‍රතිපාදන මෙන්ම සපුමල්ගස්කඩ විහාරස්ථාන දායක සභාව සහ විහාරාධිපති ස්වාමින්වහන්සේගේ මූල්‍ය අනුග්‍රහයන් යටතේ ක්‍රියාත්මක වේ. රටේ අභිමානය කියාපාන පුරාවස්තු සහ පුරාවිද්‍යා සිද්ධස්ථානයන් මතු පරපුර වෙනුවෙන් මෙසේ ආරක්ෂා කිරීමට කටයුතු සිදුවනු දැකීම රටට ආදරය කරන හැම හිතකටම සතුටක් වනු ඇත.