“කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නෑ”
ජනාධිපති ලේකම්වරයා පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේට කරුණු පැහැදිලි කරයි…
පසුගිය ජූනි 8 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශය පදනම් කර ගනිමින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරුණු දැක්වීමක් සිදුකර තිබේ.
එම ලිපිය මගින් කුරුන්දි විහාරයට අයත් නොවන ඉඩම් මහ ජනතාවට පවරා දීම සඳහා නියම කර ඇති බව මාධ්‍ය මගින් දැනගත් බව ත්, එම විහාරය අවට බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටඹුන් විසිරී ඇති බව ත්, එබැවින් මෙම ඉඩම් බෙදා දීම නුසුදුසු බවත් ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් දන්වා ඇත.
දැනට රජයෙන් ඉඩම් බෙදා දුන්න ද, නුදුන්න ද වැරදි ලෙස බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඇති බව දක්නට ඇති බව ත්, එබැවින් මෙම ඉඩම්වල අයිතිය පැවරීම නොකළ යුතු බව ත් උන්වහන්සේ අදාළ ලිපිය මගින් වැඩිදුරටත් කරුණු සඳහන් කර තිබේ.
මෙම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ වෙත කරුණු පැහැදිලි කරමින් අද (ජූනි 15) දාතමින් යුතුව ලිපියක් යොමු කර ඇත.
එම ලිපිය මගින් කුරුන්දි විහාරය, ශ්‍රී ලාංකික අපගේ වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් බව ත්, කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ත්, උතුරු නැගෙනහිර පවතින ඉඩම් ගැටලුවලට විසඳුමක් වශයෙන් යෝජනා කර ඇත්තේ 1985 වර්ෂය වන විට වනාන්තර හා වනජීවී කලාප වශයෙන් පැවැති ඉඩම් ඒ ආකාරයෙන් ම ආරක්ෂා කිරීම බව ත් ජනාධිපති ලේකම්වරයා විසින් කරුණු පැහැදිලි කරනු ලැබ තිබේ.
එසේ ම, 2023.06.08 දින පැවති රැස්වීමේදී කුරුන්දි විහාරය මෙන් ම, තිරියාය ප්‍රදේශයේ නටඹුන් පිළිබඳව ද සාකච්ඡා කළ බව ත්, මාධ්‍ය මගින් විකාශනය කිරීමේදී මෙම කරුණු පටලවාගෙන ඇති බව ත්, කුරුන්දි විහාරය අවට කුඹුරු ඉඩම් කිහිපයක් සම්බන්ධයෙන් මතු වී ඇති ප්රශ්නය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයාට හා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති බව ත් ජනාධිපති ලේකම්වරයාගේ ලිපිය මගින් කරුණු දක්වා ඇත. එසේ ම, රජයේ බලාපොරාත්තුව වන්නේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන මෙන්ම ඉඩම් ද හඳුනා ගෙන ඒවා දිස්ත්‍රික් ලේකම්වරයා භාරයේ තැබීමට කටයුතු කිරීම බව ත් වැඩිදුරටත් දන්වා ඇත.
මීට අමතරව නේපාලයේ ලුම්බිණි මායා දේවී විහාරයේ කැණීම් කටයුතු සිදු කළ මහාචාර්ය රොබින් කනින්හැම්ගේ සහය ලබා ගෙන මහාවිහාරය අවට කැණීම් සිදු කර මහාවිහාර විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කිරීමට ප්රමුඛතාවයක්දී කටයුතු කිරීමට ද රජය අපේක්ෂා කරන බව ජනාධිපති ලේකම්වරයා විසින් එම ලිපිය මගින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ වෙත කරුණු පැහැදිලි කරනු ලැබ ඇත.
“කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නෑ”