මෙරට සිංහල බෞද්ධ උරුමයක් වූ කුරුන්දි විහාරය කාලයේ වැලි තලාවෙන් වැසී සැඟව ගිය ඓතිහාසික පුණ්‍ය භූමියකි. එය සොයා ගොස් අභියෝග මධ්‍යයේ නැවත ගොඩ නැඟීමේ පාරමිතා චාරිකාව මතු පරපුරේ දැන ගැනීම පිණිස මෙසේ ලේඛනාරූඪ කොට තබමි. මෙම ලිපියේ ඉදිරියේ සවිස්තරාත්මක ව දක්වන පරිදි කුරුන්දි විහාරය පිළිබඳ මුල් ම තොරතුර ලැබුණු දා පටන් එය ඉදිකිරීමේ අධිෂ්ඨානය අප තුළ විය. එහෙත් එම විහාරය පිළිබඳ තොරතුරු විරල වූ අතර මෙම ලිපිය තුළ කුරුන්දිමලේ, කුරුඳු වෙහෙර, කුරුන්දාශෝක විහාරය, වඩ්ඩව පබ්බත විහාරය ලෙස හැඳින්වෙන්නේ ද මුලතිවු ආසන්නව පිහිටි එකී ඓතිහාසික කුරුන්දි විහාරයම ය.
කුරුන්දිය ගැන මුල්ම තොරතුර
කුරුන්දිය ගැන අපට පළමු තොරතුර ලැබීම විස්මයජනක ය. ඒ සිද්ධිය මෙසේ ය. 2018 වසරේ මුල් කාලයේ අප වැඩසිටියේ වැලි ඔය සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ ය. එහි පුරාවස්තු විනාශයක තොරතුරු සොයා බැලීම සඳහා පැමි‚ වව්නියාව පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජයතිලක මහතා සමග පැමිණි ජනක මහතා, අනුරාධ මහතා, සමන් මහතා සහ වික්‍රම මහතා යන කණ්ඩායම අපට මුණ ගැසුණු අතර එම ප්‍රදේශයේ පුරාවස්තු ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳව බොහෝ තොරතුරු කථා බස් කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය මගින් නිර්මාණය කොට තිබුණු කුඩා ප්‍රමාණයේ පොත් පිංචවල් තුනක් මා වෙත පරිත්‍යාග කරන ලදි.
මන්නාරම දිස්ත්‍රික්කය, වවුනියාව දිස්ති්‍රක්කය සහ මුලතිව් දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව ඉතාම සැකෙවින් ඒවායේ සඳහන් කර තිබි‚. ඒ වැලිඔය සිංහල ජනපදය ගැටලූ රාශියකට මුහුණ දුන් සමයකි. විශේෂයෙන්ම ද්‍රවිඩ දේශපාලන නායකයන් සහ අන්තවාදී රාජ්‍ය නිලධාරීන් සිංහල ජනතාවට බොහෝ අකටයුතුකම් සිදු කරන බව අප දැන සිටි අතර දැඩි ආර්ථීක ප්‍රශ්නවලට මුහුණ දුන් ජනතාව බොහෝ සාමාජීය ගැටලූවලින් ද පීඩා වින්දහ. අප එයට විසඳුම් සෙවීමට උත්සාහ කළ අතර කලක් තිස්සේ හුදෙකලා වූ වැලි ඔය ජනපදයේ හුදකලා බව නැති කොට බොහෝ පිරිසකගේ අවධානය යොමු කරලීමේ අදහසින් විවිධ ක්‍රියාකාරකම් කළෙමි.
අප විසින් එම ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන ශ්‍රී ශාක්‍යමුනි අරහන්තක ධාතු මන්දිරය ගොඩනැගීමට අදහස් කළේ ද අනුරාධපුරයේ සිට පැමිණෙන සැදැහැවතුන් මෙම ප්‍රදේශයට වන්දනාවට රැගෙන ඒමේ අදහසින් ය. එවන් පසුබිමක මෙම පුරාවිද්‍යා ස්ථානවල ලේඛන සහ සුවිශේෂත්වය පිළිබඳව අධ්‍යයනයක නිරත වූ මා මුලතිව් දිස්ත්‍රික්කයේ විහාරස්ථානය කරන අතර කුරුන්දම්මලේ පුරාවිද්‍යා ස්ථානය පිළිබඳ විශේෂ අවධානයක් යොමු වූයේ ඒ පිළිබඳව තබා තිබූ කෙටි සටහන නිසාය. ඒ සටහන මෙසේය.
ජනප්‍රවාද අනුව බුදුරජාණන් වහන්සේ වැඩි ස්ථානයක් ලෙස ද කුරුන්දි අටුවාව ලියැවුණු ස්ථානය ලෙස ද මුලතිව් දිස්ත්‍රික්කය වැඩිම පුරාවස්තු විසිරී පවතින ස්ථානය ලෙස ද මෙම කුරුන්දම්මලේ පුරාවිද්‍යා ස්ථානය හඳුන්වනු ලබයි.